බැසිල් ප්‍රනාන්දු
මේ දිනවල ප්‍රසිද්ධ සාකච්ඡාවේ මූලිකම තේමාවක් බවට පත්වී තිබෙන්නේ ප්‍රසිද්ධ ආයතන භාරව කටයුතු කරන නිළධාරීන්ගේ ස්වාධීනතාවය පිළිබදව ප්‍රශ්ණයය. උදාහරණයක් වශයෙන් රටේ උද්ධමනය පිළිබදව කතා කිරිමේදී උද්ධමන පාලනය පිළිබදව මධ්‍යම රාජ්‍ය බැංකුවේ අදාල නිළධාරීන් මෙම උද්ධමනය පාලනය කිරීමේ වගකීම් භාරය දරන්නෝ වෙති. කොරෝනාව මර්ධනය කිරීමේදී එය පාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ වෘතීමය වශයෙන් සුදුසුකම් ඇති වෛද්‍ය විශේෂඥයන්ටය. මේ ආකාරයට රටේ සියලුම කර්තය්යන්හිදී ඒ ඒ කටයුතු භාරව කටයුතු කරන ප්‍රසිද්ධ නිළධාරීන්ට ස්වාධීනව ඔවුන්ගේ කටයුතු කිරීමට ඉඩදීම පමණකින් මිස වෙන ආකාරයකින් රජ්‍යයකට තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටු කිරීමට හැකියාවක් නැත.
එහෙත් ඇත්තටම සිදුවන්නේ මේ සියලුම අංශයන්හි සේවය කරන වෘතීමය නිළධාරීන්ට ඔවුන්ගෙන් ඉටුවිය යුතු කාර්ය සිදු කිරීම සදහා අවශ්‍ය වන ස්වාධීනත්වය යටපත් කර ඇති බවය. විවිධ මාර්ග වලින් ආණ්ඩුව පාලනය කරන්නන් විසින් කෙලින්මමේ සියලුම කටයුතු වලට මැදිහත් වන අතර විවිධ බලපෑම් මාර්ගයෙන් අදාල ස්වාධීනත්වයෙන් යුතුවමේ කටයුතු කිරීමට බැරි තත්වයක් නිර්මාණය කොට ඇත. එනම් ආණ්ඩුව ගෙනයනු ලබන්නේ හිතුවක්කාර ආකාරයෙනි.
මෙම දෙබඩි තත්වය නිසා අදාල වෘතීය කටයුතු කරන නිළධාරීන් තුලද විශාල ව්‍යාකූලත්වයක් මෙන්ම තමන්ට අවශ්‍ය ස්වාධීනත්වය නැති බව පිළිබදව ගැඹුරු හැගීමක්ද වර්ධනය වී පවතී. එම ගැඹුරු හැගීම මගින් ඔවුන්ගේ හැසිරීම් රටාවද බොහෝ දුරට නිර්මාණය වී ඇත.
මේ නිසා ප්‍රසිද්ධ ආයතන වල නායකත්වයන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කිරීමට ස්වාධීනත්වය දිය යුතු බව පිළිබදව ඉතා ප්‍රභල ප්රකාශනයන් මේ කාලයේදී නැවත නැවත ප්‍රකාශයට පත් වේ. සමාජයේ ප්‍රධාන ඉල්ලීමක් වශයෙන් ගොඩනැගී ඇත්තේ රජ්යතන්ත්රයේ ප්‍රසිද්ධ ආයතනවල නායකත්වය දරන නිළධාරීන්ට ඔවුන්ගේ රජකාරීය වෘතීය වශයෙන් බලාපොරොත්තු වන ආකාරයට කල හැකි නිදහස ඔවුන්ට භාරදෙන ලෙසය. මෙයින් කෙලින්ම කියවෙන්නේ මෙවනිදේ පිළිබදව ආණ්ඩුව කෙලින් හෝ වක්‍රව මෙම නිළධාරීන්ගේ නිදහසට බාධාවන ආකාරයෙන් කටයුතු නොකල යුතු බවයි.
මේ තත්වය තුල රටේ ඇති ගැටලුවක් ඉස්මතු කරන නමුත් එය විසදිය යුතු ආකාරය පිළිබදව සාකච්ඡාවක් තවමත් පැන නැගී නැත. සැබෑ තත්වය නම් මේ ආණ්ඩුව තුලදී පමණක් නොව පසුගිය දශක ගනනාවකදී පැවති සියලුම ආණ්ඩු ප්‍රසිද්ධ ආයතනවල නායකත්වය දරණ නිළධාරීන්ගේ ස්වාධීනත්වය නැති කිරීම සදහා ඉතා ප්‍රභලව කටයුතු කොට ඇත. මේ නිසා රට පුරා පවතින සැබෑ සම්ප්‍රධාය නම් ප්‍රසිද්ධ ආයතන වල නායකත්වයන්ට තිබිය යුතු ස්වාධීනත්වය යටපත් වීමට ඉඩහැර තිබීමය. එය පවතින සැබෑ තත්වයයි.
මෙම සැබෑ තත්වය රටේ පවතින සෑම ප්‍රශ්ණයක්ම විසදීමට පවතින විශාලම බාධකය බවට පත්වී ඇත. මහ බැංකුවට අදාල නිළධාරීන්ට උද්ධමනය පාලනය කිරීම සදහා ගත යුතු පියවර ගැනීමට ස්වාධීනත්වය නැති කමින් උද්ධමනය හා එයින් පැන නගින බඩුමිල ඉහල යෑම් නොකඩවාම එසේම කෙරීගෙන යයි. කොවිඩ් මර්ධනය පිළිබදවද පවතින්නේ එම තත්වයමය. වෛද්‍ය වෘතිකයන් මෙන්ම රටේ බුද්ධිමත් සියලු දෙනා මෙම ප්‍රශ්ණය පාලනය කිරීමේ වගකීම අදාල වෛද්‍ය විශේෂඥයන්ට බාරදී ඔවුන්ට ඒමත ස්වාධීන තීරණයක් ගැනීමට ඉඩ තිබුනත් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් රට තුල දැන් පවතින මෙම සම්ප්‍රධායික තත්වය නිසා ඉටුකර ගත නොහැකි අරමුණක් බවට පත්වී ඇත.
මෙම වෘතීමය නිදහස දෙන ලෙස ඉල්ලීම ප්‍රභල වූවත් ඒ ඉල්ලීම ඉටු කර ගැනීම සදහා සිදුවිය යුතු පරිවර්තනය කුමක්ද යන්න පිළිබදව කිසිවෙකුත් සාකච්ඡා නොකරයි. හිතුවක්කාර ආකාරයකට නිර්මාණය වී ඇති ආණ්ඩුවක ගති පැවතුම් වලට කොපමණ විරුද්ධ වූවත් එම විරුද්ධත්වය නිසාම තත්වය වෙනස් නොවේ. සමාජයෙන් පැන නගින විරෝධතාවය පවා නොතකා හිතුවක්කාර බාවය උඩ පදනම් වී ඇති සම්ප්‍රධායික ක්‍රමය හොද අතකට වෙනස් නොවනවා පමණක් නොව වඩාත් නරක අතටම පත් වේ.
එම නිසා මෙම සාකච්ඡාවේ ඊළග අවධිය යුතු වන්නේ රාජ්‍ය ආයතනවල නිළධාරීන්ට තිබිය යුතු ස්වාධීනත්වය ඇති කර ගැනීම සදහා පසුගිය දශකයන් තුල වර්ධනය වූ සම්ප්‍රධායික හිතුවක්කාර පාලනය නැතිකර ගත යුත්තේ කෙසේද යන්න පිළිබදව ඉතා ගැඹුරින් හා දීර්ඝව සාකච්ඡා කිරීමය. එම ප්‍රශ්ණය නොවිසදනතාක් දුරට වෘතීකයන්ට වෘතීය නිදහස නැතිකම නිසා ඔවුන්ගේ කාර්යභාරයන් ඉටු කිරීමට ඇති හැකියාව නොපවතිනු ඇත. මෙහි ප්‍රතිඵලය දැන් පැහැළිවම පෙනෙන ආකාරයට, වඩ වඩාත් උද්ධමනය හා එයින් වැඩි වන බඩු මිළ පාලනය කල නොහැකි වීමත්, කොවිඩ් මර්ධනය වැනි ඉතා දරුණු ප්‍රශ්ණයක් පවා වඩ වඩා වැඩෙන්නට ඉඩ දීමෙන් එය විසදා ගැනීමට හැකි වෙනත් මාවතක් නැතිකර දැමීමත්ය.
හුදෙක් වෘතීකයන්ගේ ස්වාධීනත්වය නැතිවීම පිළිබදව විවේචනය කිරීම පමණක් නොසෑහේ. එම ස්වාධීනත්වය ඇති කර ගැනීම සදහා රජ්යතන්ත්රය තුල ඇතිවිය යුතු වෙනස ඇතිකර ගැනීම සදහා අධාරකාරී වන තැනට දැන් පවතින සාකච්ඡාව වැඩි දියුණු කර ගත යුතුය.